Thursday, September 29, 2011

බැහැදකිමු


කි සි වෙ කු වි නා ශ නො ව න පි ණි ස

ශුද්ධලියවිලි පාඨය :- 1 රාජාවලිය 17:8-16


හැඳින්විම :-
‍‍

දෙවියන්වහන්සේ විසින් මෙලොව වසන සෑම පුද්ගලයෙකුටම ආදරය ලැබිමට හා ආදරය කිරීමට හැකියාවක් ඇතිව මවා ඇත. එහෙත් අතිශයින් කාර්යබහුල වූ වර්තමාන සමාජය හා ජවිතරටාව හේතුවෙන් එකම නිවසේ වෙසෙන අයටවත් එකිනෙකාගේ සුවදුක් සොයා බැලීමට හෝ කාලය ගත කිරීමට අවස්ථාවක් නැතිවී ගොසින්ය. අද අපගේ ජීවිත ‘රාත්‍රියේදී එකිනෙක පසු කර යන සුපිරි නැව් දෙකක් වැනිය’. එහි අර්ථය නම් එක් නැවක අලංකාරය දැක ගත හැක්කේ අනෙක් නැවේ සිටින අයටය. එහෙත් රාත්‍රියේ අන්ධකාරය නිසා එකිනෙකාට අනෙකාගේ සුන්දරත්වය හා වටිනාකම දැක ගැනීමට නොහැකිය. ඇතැම්විට ඔබටත් මෙවැනි හුදකලාවූ නැවක අද්දැකීම දැනෙනවා විය හැකිය. එසේ නොමැතිනම් එවැනි තනිකමකින් ගමන් කරන ඔබේ පවුලේ අයෙක්, නෑදෑයෙක් හෝ මිතුරෙක් සිටිනවා විය හැකිය. ඇතැම් විට ඒ අය තම ප්‍රශ්නය හෝ වේදනාව නිසා සිය දිවි නසා ගැනීමට පවා බලා සිටිනවා විය හැකිය. අද අපගේ බයිබල් අධ්‍යනයේද සඳහන් වන්නේ මෙලෙස මරණයට සූදානම් වූ මවෙකු හා පුතෙකුගේ කථාවකි.


අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

දෙවියන්වහන්සේ විසින් අපට මුණගස්වන අයගේ ජීවිතවල ‘ඉරණම’ හෝ ‘දෛවය’ වෙනස්කිරීමේ හැකියාව අපට ඇත (මෙම හැකියාව ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය මා තුළින් ගලායෑමකි). එබැවින් උන්වහන්සේ මාගේ ජිවිතයට දී ඇති සෑම පුද්ගලයෙක් පිළිබඳවම විශේෂ වගකීමක් මා හට ඇත.

ඔබ කැමති වූවත් නැතත් ඔබ අසල සිටින ඔබ ප්‍රේමකරන ඔබේ මව හෝ පියා, දුව හෝ පුතා, සහෝදරයා හෝ සහෝදරිය, මිතුරා හෝ මිතුරිය ගැලවීම ලබා ශුද්ධජීවිතයක්* ගත නොකරන්නේනම් (*එනම් යේසුස්ක්‍රිස්තුස්වහන්සේ කුරුස පූජාව හා මළවුන්ගේ උත්ථානය තුළින් ඇති පාප කමාව හා නව ජීවනය ලබා දේව වචනයට එකඟ වූ ජීවිතයක් ගතකිරීම) අනිවාර්‍යයෙන්ම සදාකාල විනාශයට යනු ඇත.

අන්තර්ගතය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

8 වගන්තිය :-

බැහැදැකිය යුක්තේ කව්රුන්ද, කොහේද යන වග එලියාහට දෙවියන්වහන්සේ පැහැදිලිවම සඳහන් කරයි. එදා සමාජයේ වැන්දඹුව යනු අවලංගු කාසියක් වැනිය. ඈට හෝ ඇගේ දරුවන්ට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවීය.

9 වගන්තිය :-

ස්වාමීන්වහන්සේ තමාට එළිදරව් කළ සැනින් එලියා වහාම කල් නොයවා සිය දූත මෙහෙවර අරබන ලදි. එලියා තව පැයක් හෝ ප්‍රමාදවූයේ නම් සිදුවීටට තියමින වූයේ කුමක්ද යන්න 12 වගන්තිය අවසානයේ ශාරපත් හී වැන්දඹු කාන්තාවගේ මුවින්ම මෙසේ සඳහන් කරයි. ‘ඒවා මා සහ මාගේ පුත්‍රයා විසින් කාලා මැරෙණ පිණිස’ බවයි.

13 -16 වගන්ති :-

එලියා දෙවියන්වහනසේගේ හඬට කන්දී ඊට වහාම කීකරුවිමේ අවසාන ප්‍රතිඵලය වූයේ නියඟය නිසා ආහාර නොමැතිකමින් හාමතේ මිය යෑමට සිටි මවක් හා පුතෙක් මුදවා ගත්තා පමණක් නොව එම නිවසේ සිටි තවත් අයගේ ජීවිත ආරක්ෂා විමය. එලෙසම එලියාටද අවශ්‍ය තරම් ආහාර පාන ලැබිනි.

ආදර්ශය හා අදාළකිරීම

දෙවියන්වහන්සේ විසින් ඔබට මුණගස්වා ඇති අය, ගැලවිමේ අද්දැකීම ලබා නොමැතිනම්, ඔවුන් සදාකාල විනාශයට නියමිත නම්, ඔවුන්ගේ ගැලවිම වෙනුවෙන් ඔබට කළ හැකිදේ කුමක්ද?

2. මෙම විශේෂ සුභාරංචි මාසය තුළදී ඔබ විසින් බැහැදැකිය යුක්තේ කව්රුන්ද යන වග දෙවියන්වහන්සේගෙන් විමසා බලන්න.‍ ඇතැම් විට ඔබ විසින් ‘වැඩක් නෑහැ’ යයි කියන පුද්ගලයාවම දෙවියන්වහන්සේ ‘වැඩක් ඇතැයි’ කියනවා විය හැකිය.

3. උන්වන්සේ යම් පුද්ගලයෙක් හෝ යම් පවුලක් පිළිබඳව ඔබට මඟ පෙන්වා ඇතිනම් ප්‍රමාද නොවී වහාම ක්‍රියාත්මක වන්න. ඔබේ ප්‍රමාදය එම පුද්ගලයාගේ මරණයට හේතුව විය හැකිය.

4. දෙවියන්වහන්සේ මේමොහෙතේ ඔබට මඟපෙන්වන්නේ එක් පුද්ගලයෙක් විය හැකිය. ඔබ එම එක ආත්මයට විශ්වාසවන්ත වන්න. එම තනි පුද්ගලයාගේ ගැලවිම හේතුවෙන් තවත් ජීවිත රැසක් ස්වමීන්වහන්සේ දැන හඳුනා ගැනීමට පැමිණෙනවා විය හැකිය.

5. මෙලෙස බැහැදකින අයට ඔබ කුමක් පවසන්නේද?

a. පළමුව ඔබගේ පුද්ගලික යාච්ඤාවේදී ඔවුන් ගැන අයදින්න / මඟපන්වීමක් ලබා ගන්න.

b. ඔවුන්ට හොඳින් සවන්දෙන්න.

c. කථා කිරීමට ඉක්මන්නොවන්න.

d. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කියනදේ, දැනෙන්න සලසන දේ පමණක් ප්‍රකාශ කරන්න.

e. ඔබට දෙවියවන්වහන්සේ කළ දේ ප්‍රකාශ කරන්න. කුරුසය නිසා ඔබගේ පරණ ජීවිතය වෙසන් වූ ආකාරය විස්තර කරන්න.

f. තර්ක කිරීම හෝ වාද විවාය වෙනුවට සුහද සාකච්ඡාවක නියැලෙන්න.

g. ඔබ නොදන්නා දේ මතක තබාගෙන හෝ සටහන් කරගෙන පසුව විතර සොයා ඔවුන් දැනුවත් කරන්න.

h. ඔවුන්ගේ විශ්වාසයන් හා මත හෙලා දැකිම හෝ විවේචනය කිරීමෙන් වලකින්න.

6. ඔවුන් හා ඔබ අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න (පාලමක්).

Saturday, September 24, 2011

එකම දරුවා


කි සි වෙ කු වි නා නො පි ණි

ශුද්ධලියවිලි පාඨය :- යොහන් 3:16-18

හැඳින්විම :-

සුනාමියනම් වචනනය අපගේ ජන ව්‍යවහාරයට එක්වී වූයේ 2004 දෙසැම්බර් 26 දිනට පසුවය. එදා ආසන්න වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් හා වෙනත් ජාතික ජීවිත 40,000 පමණ අපට අහිමි විය. එහෙත් ශ්‍රී ලංකාවට ප්‍රථම වරට සුනාමි තත්වයක් ඇති වූයේ ඈත ඉතිහාසයේ කැළනි-තිස්ස රජ දවසය. මෙම රජතුමා ඉතාමත් ධාර්මික රජෙක් වූ අතර වැරදි අව‍බෝධයක් හේතුකො‍ටගෙන විශාල වරදක් සිදු කරන ලදි. එනම් අවංක හා නිර්දෝෂී භික්ෂූන්වහන්සේ නමක් උතුරන තෙල් කටාරමකට දමා සාහසික ලෙස මරාදමන ලදි.

මේ කාලයේදීම හදිසියේම කැළිය ආශ්‍රිත ප්‍රදේශයට මුහුද ගොඩගැලීමට පටන්ගන්නා ලදි. මෙම සුනාමි තත්වය දිගින් දිගටම පැවති අතර විශාල වශයෙන් දේපල හා මිනිස් ජීවිත විනාශයක් සිදුවිය. රජුගේ පාපය නිසා දෙවියන්ගේ උදහස ඇවිළී ඇතැයි රටේ ජනයා විසින් රජුට චෝදනා කරන ලදි. මෙයට ඇති එකම විකල්පය මිනිස් බිල්ලක් පූජාවක් කොට මුහුදට බිලිදිය යුතු බව රජතුමාට උපදෙස් දුන් අය ප්‍රකාශ කරන ලදි. එහෙත් මෙලෙස රට වෙනුවෙන් හෝ රජුගේ පාපය මකාලන්නට කිසිවෙක් තම ජීවිතය පූජා කිරීමට ඉදිරිපත් නොවීය. අවසානයේ කැළනි තිස්ස රපුගේ එකම දරුවාවන දේවී කුමරිය (පසුව විහාරමහාදේවී නමින් ප්‍රකට විය) සිය ජීවිතය රට වැසියන්ගේ ගැලවීම උදෙසා පුජා කිරීමට ඉදිරිපත්විය. පසුව රජු විසින් කුඩා නැවකට ඈ නංවා මුහුදට පාකර යවන ලදි. මෙම පූජාවෙන් පසුව මුහුද ගොඩගැලීම නැවතුන බව ඉතිහාසය සඳහන් කරයි.

අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

යොහන් 3:16-18 ට අනුව ලෝකය හා මිනිස් වර්ගයා කෙරෙහි දෙවියන්වහන්සේගේ අසීමිත ප්‍රේමයේ තරම සඳහන් කරයි. යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේ අරමුණ හා දෙවැනි පැමිණීම අතර වෙනසද සඳහන් කරයි.

අන්තර්ගතය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

16 වගන්තිය :-

දෙමව්පියන්ගේ ලෝකය දරුවන් බව අපි දනිමු. ඔවුන් සිය දරුවන්ට අසීමිත ලෙස ප්‍රේමය හා කැපවීම දක්වයි. දිවා රෑ නොබලා දරුවාගේ දියුණුව හා ආරක්ෂාව සපයා දෙයි. මෙලෙස දරුවන්ට ආදරය කරන කිසිදු මවක් හෝ පියෙන් තම දරුවා තව කෙනෙක්ගේ ගැලවිමක් උදෙසා මිනිස් බිළි පූජාවක් කොට හෝ පාප පූජාවක් ලෙස කිසිවිටෙකත් ඉදිරිපත් නොකරයි.

එහෙත් දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ එකම පුතුවන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජාවක් කොට, මුළු මැවිල්ලේම ගැලවිම හා විමුක්තිය උදෙසා ඉදිරිපත් කරන ලදි. යේසුස්වහන්සේද ස්ව කැමැත්තෙන්ම තම නිර්මල වූ පාප රහිත ජීවිතය කුරුසිය මත පූජා කළ සේක. මිනිස්වර්ගයාගේ පාපයට පමණක් නොව සකල විශ්වයේම පාපය උන්වහන්සේමතට ගෙන නිසි වන්දිය ගෙවා මරණය පරදා 3 න් දිනකින් නැවත නැගිට ස්වර්ගයට උත්ථානය වූ සේක.

17 හා 18 වගන්ති :-

යේසුස්වහන්සේ හැර මිනිස්වර්ගයාට වෙනත් ගැලවීමක් නැති අතර උන්වහන්සේ එකම එක විසඳුමයි. යෙසුස්වහන්සේගේ පළමු පැමිණිමේ අරමුණ තම ජීවිතය පූජාකර ලෝකයට හා මිනිසාට පාපය හා එහි ශාපයෙන් ගැලවිම ප්‍රධානය කිරීමය.

එලෙසම නුදුරු අනාගතයේ සිදුවිමට නියමිත යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණීමත් සමඟ මහා විනිශ්චයකට සෑම අයෙකුටම මුහුණදිමට සිදුවනු ඇත. මෙහිදී යේසුස්වහන්සේගේ පළමු පැමිණීමේ දී එතුමා කළ පූජාව පිළිගෙන උන්වහන්සේ අදහාගත් අයට පමණක් විනිශ්චයෙන් ගැලවී සදාකාල ජීවනය ලබා ගත හැකිය. උන්වහන්සේ පිළිනොගන්නා අය සදාකාල නිරයට යනු ඇත.

එහෙත් දෙවියන්වහන්සේගේ කැමැත්ත මෙලොව සිටි, සිටින හා සිටින්නට යන සැම පුද්ලයෙක්ම පාපයේ ශාපයෙන් මිදීම ලැබීමය.

ආදර්ශය හා අදාළකිරීම

1) දෙවියන්වහන්ටස් ස්වකීය ඒක ජාකත පුත්‍රයා දෙන තරම් ඔබට ප්‍රේම කරනවානම් ඔබ එතුමාට දක්වන්වන ප්‍රතිචාරය කුමක්ද?

යේසුස්වහන්සේ තම පාපරහිත නිරමල ජීවිතය ඔබ වෙනුවෙන් පූජා කළ බව ඔබ අදහනවාද? උන්වන්සේගේ අසීමිත ප්‍රේමය හා සමාදානය ඔබ අද්දැක තිබෙනවාද?

යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණිම මේ මොහොතේ සිදුවුවහොත් ඊට මුහුණදිමට ඔබ සූදානම්ද?

යේසුස්වහන්සේගේ දෙවැනි පැමිණිම මේ මොහොතේ සිදුවුවහොත් ඊට මුහුණදිමට ඔබ ගේ බිරිඳ, සැමියා, දරුවන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, අසල්වාසීන් හා මිතුරන් සූදානම්ද?

5) ඔබ විසින් අවසාන වරට දෙවියන්වහන්සේගේ ප්‍රේමය (ක්‍රියාවෙන් හෝ වචනයෙන්) තවත් අයෙක් හා බෙදාගත් දිනය කවදාද?