Tuesday, March 26, 2013

යුක්තිය කොයිබටද?

පෙර වදන
මට යුක්තිය ඉටුවන්නේ කවදාද? යන්න අප නිරන්තරයෙන් අසන පැණයකි. ඔව් එය ප්‍රමදවිය හැකිය; එහෙත් නියතය. ඔබේ නඩුව දැනටමත් දෙවිඳුන් ඉදිරියේ විභාගවී අවසන්ය. එකම හා සර්ව සාධාරණ විනිසුරු වන සමිඳාණෝ ඔබේ තීන්දුව ප්‍රකාශ කරන තෙක් මඳක් රැදී සිටින්න.

ගීතාවලිය 9 වන පරිච්ඡේදය
1 සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි;
ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි; 
2 ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි; 
මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි. 
3 ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති. 
4 සාධාරණ විනිසකරුනි, සිහසුන් අරා ඔබ වැඩ හිඳින සේක; 
මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක. 
5 ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.
6 සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක.
7 සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක; 
විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. 
8 එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක; 
ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. 
9 සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි; 
විපත්ති සමයෙහි මහ බලකොටුවකි. 
10 ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති. 
ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක. 
11 සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න; 
මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න. 
12 දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. 
වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ. 
13 සමිඳුනි, මට කරුණා කළ මැනව. 
සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. 
මරු මුවෙන් මා වෙන් කරගත මැනව. 
14 එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි.
15 විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති. 
එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති. 
16 සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. 
කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති. 
17 දුදනන්ගේ ඉරණම පාතාලය වේ; 
දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ. 
18 දිළිඳා හැම දා අමතක නොවනු ඇත. 
පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත. 
19 වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව.
ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා! 
20 සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව. 
ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.
ශුද්ධ බයිබලය. 

Thursday, March 21, 2013

දිව්‍යමය මිනිසා අවදි කරන්න!

පෙර වදන
ඔබ විසින් ඔබ ගැනම අවබෝධ කරගෙන ඇත්තේ කෙසේද? මෙම ගීතයේ 5 වන වගන්තියට අනුව දෙවියන්වහන්සේ විසින් තම ස්වරූපයෙන් මවා ඇති ඔබ තුළ දිව්‍යමය බලය, දිව්‍යමය හැකියාව හා දිව්‍යමය චරිතය තබා ඇත. එබැවින් ඔබ තුළ ඇති එම දිව්‍යමය මිනිසා අවදි කරන්න.

ගීතාවලිය 8 වන පරිච්ඡේදය
1 සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය. 
2 කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක. 
රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක. 
3 සිය'තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,

4 මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? 
මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.
5 එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. 

6 ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. 
ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 
7 ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.

8 ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.

9 දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?

ශුද්ධ බයිබලය. 

Tuesday, March 19, 2013

සමිඳුනි මා ගලවා ගත මැනවි!

පෙර වදන
සමිඳුන්ගේ හස්තයට භාරවෙන්නා සුරක්ෂිතය. විපත්ති කාලයේදී පවා ඔහුට හෝ ඇයට කිසි විපතක් නොවන්නේය.

ගීතාවලිය 7 වන පරිච්ඡේදය
1 සමිඳුනි, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න. 
2 නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත;
එහිදී මා කැබලි කොට මරා දමනු ඇත. 
3 සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,

4 මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;

5 සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලාගනිත් වා! 
ඔව්හු මා කපා, කොටා මරත් වා! මාගේ මළකඳ දූවිල්ලෙහි දමත් වා! 
6 සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; 
මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; 
අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය. 
7 සව් ලෝ සත එක් රැස් ව ඔබ වට කර සිටිත් වා! 
ඉහළ අහසේ ඔවුන් මැද ඔබ සිහසුන් අරා වැඩ සිටින්න. 
8 සමිඳාණෝ සව් සත හට යුක්තිය සලසා දෙන සේක. 
සමිඳුනි, මාගේ දැහැමිකමත්, අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව. 
9 මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න;

දහම් රජය පිහිටුවන්න. 
10 දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක;
අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක. 
11 දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක; 
එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක. 
12 පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක;
දුනු දිය තැත්කවා සූදානම් කරන සේක. 
13 මාරක අවි සකස් කරන සේක; 
ඊතල, ගිනි ඊතල කරන සේක. 
14 එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.

15 ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති. 

16 ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි. 

17 සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. 
අති උත්තම හිමි තුමන් හට තුති ගී පවසමි.

ශුද්ධ බයිබලය. 

සමිඳුනි තවත් ඉවසිය නොහැකිය!

පෙර වදන
ජීවිතයේ අවසානයට ලඟා වී ඇතැයි ඔබ සිතුවත් එය තවත් වැදගත් පරිච්ඡේදයක ආරම්භයකි.

ගීතාවලිය 6 වන පරිච්ඡේදය
1 සමිඳුනි, ඔබ උදහසින් මට තරවටු නොකළ මැනව; දැඩි කෝපයෙන් දඬුවම් නුදුන මැනව. 
2 සමිඳුනි, දුබල මට කරුණා කළ මැනව; මාගේ ඇටකටු පොඩි වී ඇත; මා සුව කළ මැනව. 

3 මම මුළුමනින් ම කැළඹී සිටිමි; සමිඳුනි, ඔබ කොපමණ කල් පමා වන සේක් ද? 

4 සමිඳුනි, යළි වැඩම කොට මරණින් මා ගළවාගන්න; ඔබ තිර පෙමින් දැන් මා මුදාලන්න. 

5 මන්ද, මරණින් පසු ඔබ ගැන සිහිවීමක් නැත්තේ ය; පාතාලයේ ඔබ හට පැසසීමක් නැත්තේ ය. 

6 මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත;
කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත; 
7 වැලපීමෙන් මාගේ දෙනෙත ඉදිමී ඇත; සතුරන් නිසා මා ඇස් අඳුරු වී ඇත. 

8 සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක. 

9 සමිඳාණෝ මාගේ යාදිනි ඇසූ සේක; එතුමාණෝ මා යැදුම පිළිගන්න සේක. 

10 මාගේ සියලු සතුරෝ පරාජය වී ලජ්ජාවට පැමිණෙත් වා! හදිසියෙන් ම වියවුල් වී ආපසු හැරී යත් වා!

ශුද්ධ බයිබලය. 

Monday, March 18, 2013

සමිඳාණෝ මාගේ පලිහවන සේක!

පෙර වදන
හිමිදිරියෙන්ම සමිඳුන්ගේ අභිමුව සිටින්නා හට උන්වහන්සේගේ පූර්ණ ආරක්ෂාව හා රැකවරණය ලැබෙනු ඇත. 

ගීතාවලිය 5 වන පරිච්ඡේදය
1 සමිඳුනි, මා යැදුමට සවන් දෙනු මැනව; මාගේ භාවනාව සැලකුව මැනව. 
2 රජිඳුනි, මාගේ දෙවිඳුනි, ඔබ සරණ පතා මම එන්නෙමි.
කරුණාවෙන් මා යැදුමට සවන් දෙනු මැනව. 
3 සමිඳුනි, අලුයම මාගේ යැදුමට සවන් දෙනු මැනව; 
අරුණ'ලු එන කල පූජා පුද කොට ඔබ එන තුරු බලා සිටින්නෙමි. 
4 ඔබ දුෂ්ටකමට ප්‍රිය කරන දෙවි කෙනෙක් නොවන සේක; 
ඔබ අබිමුව නපුරට ඉඩ නොතබන සේක. 
5 අහංකාර අයට ඔබ අබිමුවෙහි තැනක් නැත්තේ ය. 
අපරාධකරුවන්ට ඔබ ද්වේෂ කරන සේක. 
6 සමිඳාණෝ බොරු තෙපලන දන වනසන සේක; 
මිනීමරු කපටි අය පිළිකුල් කරන සේක. 
7 මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි;
ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි. 
8 සමිඳුනි, මට සතුරන් බොහෝ සිටින බැවින්, දැහැමි මඟ මා ගෙන ගිය මැනව;
ගත යුතු මඟ මට පෙන්නුව මැනව. 
9 මා සතුරන් පවසන දේ විශ්වාස කළ නොහැකි ය. 
ඔවුන්ගේ සිත දැඩි දුෂ්ටකමින් පිරී ඇත්තේ ය. ඔවුන්ගේ උගුර අමු සොහොනක් වැනි ය. ඔව්හු දිවෙන් ඉච්ඡා බස් දොඩන්නෝ ය. 
10 දෙවිඳුනි, ඔවුන් නසා වනසා ලුව මැනව; 
ඔවුන්ගේ කූට උපායවලට ඔවුන් ම අසු කළ මැනව; ඔවුන්ගේ බොහෝ අපරාධ නිසා ඔවුන් දුරින් දුරු කළ මැනව. මන්ද, ඔව්හු ඔබට එරෙහි ව කැරලි ගැසුවෝ ය. 
11 ඔබ සරණ යන්නෝ ප්‍රීතියෙන් පිනා යත් වා! 
ඔබ ඔවුන් රක්නා බැවින් ඔව්හු විපුල සතුටින් 
උදම් වෙත් වා! ඔබ නම ප්‍රිය කරන්නෝ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
12 මන්ද ඔබ දමිටුන්ට ආසිරි දෙන සේක; 
සමිඳුනි, ඔබ පෙම පලිහක් මෙන් ඔවුන් වට කරන සේක.

ශුද්ධ බයිබලය. 

ජීවිතයට සෑබෑ තෘප්තිය!

පෙර වදන
ධන‍ය හා බලය යනු ජීවිතයට තෘප්තිය ගෙන දෙන මුලාශ්‍ර නොවන අතර මේවා වැඩිවන තරමට අපට තිබෙන තෘප්තියත් ගිලිහී යනු ඇත. සැබෑ තෘප්තිය පැමිණෙන්නේ සමිඳුන් තුළ භාවනා කරන්නාට පමණි. මෙම ගීතයේ 7 වන වගන්තියට අනුව ‘පැදුරු සෙවිලි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ...’

ගීතාවලිය 4 වන පරිච්ඡේදය
1 මා රක්නා මාගේ දෙවිඳුනි, මේ යාදින්නට පිළිතුරු දුන මැනව. විපතේ දී ඔබ මා මිදූ සේක, මට කරුණාකර මේ යැදුමට සවන් දුන මැනව. 
2
මිනිසුනි, ඔබ මට කොපමණ කල් හරසර වෙනුවට ගැරහුම් දෙන්නහු ද? නිෂ්ඵල දෙයට නැමී, මුසාවාදයට ඇදී යන්නහු ද? 
3
සමිඳාණන් දැහැමි අය තමන්ට ම තෝරාගත් බව සිතට ගන්න. එතුමාණෝ මාගේ යැදුමට සවන් දෙන සේක. 
4
බියෙන් ඇලළී ගියත් පාපයෙන් දුරු වන්න; සංසුන් සිතින් යහනට වී භාවනා කරන්න. 
5
නියමිත පූජා සමිඳුන්ට පුදන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න. 
6 ''
අපට ප්‍රීතිය පෙන්වන්නේ කවරෙක් දැ''යි බොහෝ දෙන කියති. සමිඳුනි, අප වෙත ඔබ කුළුණැස යොමු කළ මැනව. 
7
ධන ධාන්‍ය, මිදිපැන් බහුල ව ඇති අයට වඩා, ඔබ මසිත ඉමිහිරි ප්‍රීතියෙන් පුරවා ඇත.
8
මම ශාන්ත සිතින් සැතපී, වහා නින්දට යමි.  මන්ද, සමිඳුනි, ඔබ පමණක් මට සුරැකි ව විසීමට වර දෙන සේක.

ශුද්ධ බයිබලය. 

මානසික පීඩනයෙන් නිදහස !

පෙර වදන
සමිඳුන් කෙරේ විශ්වාසය තබන පුද්ගලයා වටකර කො‍තෙක් ප්‍රශ්න පැවතියද, ඒවා කිසිවිටක ඔහු ගිල නොදමයි. ජීවිතයේ කරදර ඇතිවිට අපට නින්ද නොයන අතර, මෙම ගීතයේ 5 වන පදයට අනුව සමිඳුන්හට තම ප්‍රශ්න භාර කරන පුද්ගලයාට සුව නින්දක් ලැබෙනු ඇත. 

ගීතාවලිය 3 වන පරිච්ඡේදය 
1 සමිඳුනි, මට සතුරෝ ගණනින් බොහෝ වන්නෝ ය; මට විරුද්ධ වන්නෝ එන්න එන්න වැඩි වන්නෝ ය. 
2 ''
දෙවි පිහිටක් ඔහුට නැතැ''යි මා ගැන කියන්නෝ වැඩි වැඩියෙන් නැඟී එන්නෝ ය. 
3
සමිඳුනි, එහෙත් ඔබ මා අවට පලිහක් වැන්න. මා මහිමය ඔබ ය; ඔබ මා දිරි ගන්වන සේක. 
4
මම සමිඳුන්ට හඬ නඟා මොරගසමි; එතුමාණෝ සිය ශුද්ධ කන්දේ සිට මට පිළිතුරු දෙන සේක.
5
මම වැදහෙව නිදාගනිමි; යළි අවදි වෙමි. මන්ද, සමිඳාණෝ මට රැකවරණය දෙන සේක.
6
දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.
7
සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක. 
8
ජය සිරි එන්නේ සමිඳුන්ගෙන් ය. ආසිරි ඔබ සෙනඟ කෙරෙහි වේ වා!

ශුද්ධ බයිබලය.