Thursday, July 1, 2010

02. 'අපට සම්බවුනා'

ශුද්ධ ලියවිලි පාඨය : යොහන් සුභාරංචිය 1:41 (35-42)

අවධානය : ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආත්ම දිනාගැනිම - පුද්ගලික සුභාරංචිකරනය.

මිනිසුන් හා සතුන් අතර වෙනස කුමක්ද? (සාකච්ඡා කරන්න)

  1. සතුනට ඇත්තේ ශරීරයක් හා ප්‍රාණයක් පමණි. එබැවින් ඔවුනට ඇත්තේ භෞතික ජීවිතයක් පමණි. එහෙත් මිනිසාට ශරීරය හා ප්‍රාණයට අමතරව ආත්මයක් ඇත.
  2. ආත්මය හේතුවෙන් මිනිසාතුළ භෞතික ජීවිතයට අමතරවූ සතුනට නොමැති ආධ්‍යාත්මික හෙවත් ආත්මික ජීවිතයක් පවතියි.
  3. ආහාර සොයා ගැනිම මිස සතුන්ට කිසි කලෙක දෙවියන් සෙවිමට හෝ දෙවියන් වැදපුදා ගැනීමේ ආශාවක් ඇති නොවෙයි.
  4. කෑම-බිම, ඉදුම්-හිටුම්, යාන-වාහන, රැකී-රක්ෂා වලට අමතරවූ, ඉන් ඔබ්බට ගිය ගැඹුරැ ආධ්‍යාක්මික ආශාවක් මිනිසාට ඇත.
  5. මෙම ආශාවට හේතුව මිනිසාගේ පැවැත්ම ඇරඹුන දින පටන් (මැවීමේ දින සිට) ස්වකීය මැවුම් කරුවාණෝ එම ආත්මික ස්වභාවය ඔහු තුල තැන්පත් කළ හෙයිනි.
  6. මෙලොව සිටි, සිටින හා සිටින්නට යන ඕනෑම පුද්ගලයෙක් සෑබැ දෙවියන් සොයන ගමනක නිරත වෙයි. ඔවුන් අසන ප්‍රශ්නයක් නම් ‘සත්‍යය’ කුමක්ද? යන්නයි.
  7. මෙලෙස ‘සත්‍යය’ සොයාගිය පුද්ගලයින් දෙදෙනෙක් අප විසින් ඉහත කියවන ලද ශුද්ධ ලියවිලි කොටසේදී හමුවෙයි.
  8. ඔවුන්දෙදෙනාගෙන් එක් අයෙක් අන්දෘ වන අතර සෙසු පුද්ගලයා යොහන් යයි අපි විශ්වාස කරමු. මොවුන් දෙදෙනා භක්තිවක්ත යුදෙව්වරැ විය. යුදෙව්වරු තම ව්‍යවස්ථාවට අනුව ‘මෙසියස්’ (හෙබ්‍රෙව් වචනය) හෙවත් ‘ක්‍රිස්තුස්’ (ග්‍රීක වචනය) නම් ගැලවුම් කරුවෙක් ලොව පහලවන තෙක් බලා සිටියහ. මෙහි අදහස ආලේපලත් යන්නයි. ඇතැම් ‍බෞද්ධ කොටස්ද මෙලෙස පහල වන දියසේන කුමරුන් හා මෛත්‍රීය බුදුන්ගේ පැමිණිම බලාසිටිති.
  9. වෘතීමය වශයෙන් ධීවරයින් වූ මෙම මිතුරන් එවකට සිටි සුප්‍රසිද්ධ ගුරැවරයෙක් හා ප්‍රෝපේතවරයෙක් වූ යොහන් බෙව්තිස්තගේ ගෝලයින් වූහ. යොහන් බෙව්තිස්තගේ මගපෙන්වීම අනුව මේ මිතුරන් දෙදනා හට ඔවුන් සෙවූ ‘සත්‍යය’ හමු වෙයි.
  10. 41 වන පදයේ සදහන් වන ආකාරයට අන්දෘ විසින් කළ පළමු වැනි ක්‍රියාව නම් එම සත්‍යය තම සොහොයුරැ පේත්‍රැස් හා බෙදාගැනීම හා ඔහු යේසුස්වහන්සේ වෙත කැදවාගෙන යාමයි. යොහන් සුභාරංචියේ අන්දෘ ගැන සදහන් වන හැම විටම ඔහු තවත් පුද්ගලයෙක් යේසුස්වහන්සේ වෙත කැදවාගෙන එයි (යොහන් 6:8, 12:20-21).
  11. මෙහිදී සදහන් වැදගත් කරුණක් නම් අන්දෘ හට යේසුසුවහන්සේ පිළිබදව නිවැරදි අවබෝධයක් විය. යේසුස්වහන්සේ යනු සැබෑ ගැලවුම්කරැ යන යන විශ්වාසය
  12. මෙහිදී අන්දෘ විසින් කළ ක්‍රියාව ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ලෙස අදටත් කිතුනු සභාව සලකනු ලබයි. ඊට හේතුව නම් ප්‍රේත්‍රැස් වනාහී මුල් සභාවේ සිටි විශිෂ්ඨ වූ ප්‍රධානපෙලේ නායකයෙකි. සභාව බිහිවූයේ ඔහුගේ දායකත්වයත් සමගය. යේසුස්වහන්සේ අනාවැකි පල කල ආකාරයටම ඔහු සභාවට පර්වතයක් බදුවිය.
  13. පේත්‍රැස් පිළිබදව නව ගිවිසුම තුල 176 වතාවක් හා ඔහුගේ දේශනා හා හාස්කම් විස්තර කර ඇත. එහෙත් අන්දෘ පිළිබදව නව ගිවිසුම තුල 14 වතාවක් පමක් සදහන් වන අතර ඔහුගේ කිසිදු දේශනාවක් හෝ හාස්කමක් පිළිබදව වාර්තාවී නැත. පේත්‍රැස්ගේ පළමු දේශනාව ඇසූ ගණන 3000 කටත් අධිකය. එහෙත් අන්දෘගේ පුද්ගලික සුභාරංචිකරනයෙන් පේත්‍රැස් ගැලවීම කරා පැමිණියේය.
  14. ඔබට දේශනා අසන්න විශාල සෙනගක් නැතිවූවත් අන්දෘට ප්‍රෙත්‍රැස් හමුවුනාසේ ඔබේ සාක්ෂිය අසන්න එක් අයෙක් බලා සිටිනවා විය හැකිය. ඒ ඔබගේ ළග සිටින මිත්‍රයා, සහෝදරයා හෝ සහෝදරිය, ඥාතියා, අසල්වාසියා, පාසලේ මිතුරා හෝ දිනපතා මුණ ගැසෙන කඩේ මුදලාලි, කීර විකුණන අම්මා වැනි අය විය හැනිය.
  15. ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආත්ම දිනන්නෙක් ලෙස අන්දෘ තම ක්‍රියාවෙන් අනර්ඝ දේශනා කළ පුද්ගලයෙකි. අද සභාවට අවශ්‍යවන්නේද වචනයෙන් මෙන්නම ක්‍රියාවෙනුත් එනම්, ජීවිතය දේශනයක් වූ අන්දෘ වැනි ගෝලයින්ය.
  16. ඔබ අවසාන වතාවට යම්පුද්ගලයෙකුට ක්‍රිස්තුස්වන්සේ ගැන සාක්ෂි දැරූ දවස මතකද? ඔබ දකින අය ඔබ තුල සිටින ක්‍රිස්තුස්වහන්සේ දකිනවාද? ඔබ කථා කරන කල අසන අයට ක්‍රිස්තුස්වහන්සේගේ හඩ ඇසෙනවාද?