
යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)
ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 1:19-27
මාතෘකාව :- ‘වෙස්මුහුණු’
හැඳින්විම :-
අද අපගේ මාතෘකාව වී ඇත්තේ නිතර අපට ඇසෙන හා දකින්නට ලැබෙන දෙයක් ගැනයි. ‘වෙස්මුහුණ’ යනු එය පලඳින පුද්ගලයාගේ සැබෑ මුහුණ හෙවත් සැබෑ ස්වරූපය නොවන බව අපි දනිමු. වෙස්මුණක් පැලදසිටිනතාක් අපට එම පුද්ගලයා හඳුනාගත නොහැකිය. එහෙත් එය ඉවත් කළ සැනින් සැබෑ ස්වරූපය මතුවෙයි.
1. අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)
ප්‍රධාන කණ්ඩායම් 3ක් ගැන සඳහන් කරයි.
i. මා පිළබඳව
ii. දේවවචනය පිළබඳව
iii. අසරණයන් පිළබඳව
2. අන්තර්ගතය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)
i. මාවිසින් කළයුතු කාරණා 2 ක් හා නොකළයුතු කාරණා 2 ක් සඳහන්වෙයි.
කළයුතු
a. සවන්දිම (19 හා 26 පද)
අපගේ ස්වභාවය නම් ප්‍රශ්ණය අසන්න කළින් පිළිතුරැ සැපයිමයි. එවිට සිදුවන්නේ ‘යන්නෙ කොහෙද මල්ලෙ පොල්’ වැනි තත්වයකි. මැවුම්කරුවාණෝ මට එක කනක් හා කටවල් දෙකක් නොදුන්නේ ඇයි? සැබෑ සවන්දිමට සහකම්පාව යයි කියනු ලබයි. එනම් අන්පුද්ගලයාගේ ලෝකයට ඇතුල්වීම හෙවත්, එම පුද්ගලයාගේ සපත්තුවට බැසිමයයි කිව හැක. කට පරිස්සම් කරගන්න බැරි පුද්ගලයාගේ ක්‍රිස්තියානිකාරකමෙන් වැඩක් නැති බව 26 පදය පැහැදිලිවම සඳහන් කරයි. හිතෝපදේශ 10:19 ට අනුව වැඩියෙන් කථා කරන මනුෂ්‍යා ඉක්මනින් වරදට හසුවෙනු ඇත.
b. අසරණයන්ට පිහිට වීම (27 පදය)
පුරාණ ගිවිසුමේ හා ඉශ්‍රායෙල් සමාජයේ අසරණ අය සෙල සැලකුවේ දෙමව්පියන් නැති දරුවන්, වැන්දඹු කාන්තාවන්, විදේශිකයින් හා දිළින්දන්ය. මොවුන් අඩු වරපුසාද හිමි එදා සමාජයේ සිටි පීඩිත කණ්ඩයෙමක් විය. එදා පමණක් නොව මෙවන් අසරණ හා පීඩිතයෝ අදත් අපගේ සමාජයේ අප අසලින්ම සිටිති. මේ අයගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවෙනුවෙන් යාච්ඤා කිරීමට අමතරව ඔබ විසින් කරන්නේ කුමක්ද? යාකොබ්තුමා සඳහන් කරන පරිදි සැබෑ ඇදහිලිවන්තයා යනු අසරණයන් හා පීඩිතයන් ගේ අවශ්‍යතා හා අයිතීන් වෙනුවෙන් කැපවන්නෙක් බවයි.
නොකළයුතු
a. කථාකිරීම (19 පදය)
මෙහිදී කථා කිරීමට එපා යයි තහනමක් පවරා නැත. පළමුව හොඳින් ඇහුම්කන්දී (සහකම්පාවෙන්) දෙවනුව අඳාල පිලිතුරු දිමට අපට උපදෙස් දෙයි. නිතරම මෘදු පිළිතුරෙන් කෝපය පහව යනු ඇත.
b. කෝපවිම (19 පදය)
කෝපය යනු හොඳ දෙයක්ද? නරක දෙයක්ද? කෝපය යනු මිනිසාට ඇති තවත් එක් හැඟීමක් පමණි. අප කෝපවන කාරණාව හා ඊට දක්වන ප්‍රතිචාරය අනුව එය හොඳ හෝ නරක වනු ඇත. කෝප වීම ප්‍රමාදකිරීමට අපට ඉවසිම අවශ්‍යය වෙයි. ඉවසිම යනු ඉබේ ඇතිවන දෙයක් නොවෙයි. එය ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබී ඇති, ශුද්ධාත්මයෙන් පිරී ඇති අයට ලැබෙන ශුද්ධාත්ම ඵල 9යෙන් එකකි. දේවමාලිගාවේ සිදුවන අකටයුතු දේ නිසා යේසුස්වහන්සේට කෝපය ආසේක. ශුද්ධලියවිල්ලේ අපට උගන්වන්නේ කෝපවූවත් පව්නොකරන ලෙසටය.
ii. කැඩපත හා දේවවචනය (21 සිට 25 පද)
කන්ණාඩිය ඉදිරියේ සිටින පුද්ගලයා නිතරම තමාගේ අඩුපාඩු සකසා ගනියි. හිස හොඳින් පීරා ගනියි. රැවුල සකසා ගනියි. ඇස් පිහාටු ඇහිබැමි සකසා ගනියි. ආලේපන හා සුවඳවිලවුන් ගල්වා ගනියි. හැකි තරම් අලංකාරව, ශෝභමාන හා පිළිවෙලකට තම ශරීරය සුදානම් කරගනියි. මුහුණේ ස්වභාවය කැඩපතින් පෙන්වා දෙන්නා සේ හදවතේ ස්වභාවය එනම් මාගේ සැබෑ ස්වරූපය දේවවචනයෙන් පෙන්වා දෙයි. ශුද්ධලියවිල්ල සැබෑකමින් අසන හා අධ්‍යයනය කරන පුද්ලයාද තම ජීවිතයේ පාප හා දුර්වලකම් ඉවත ලා සැබෑ ක්‍රිස්තු අනුගාමිකයෙක් වනු ඇත.
දේවවචනය අපගේ ජීවිතයට ආලෝකයක්, මාර්ගෝපදේශකයක්, දෙමුහත් කඩුවක්, බලයක් හා ජීවනයක් වනු ඇත.
3. ආදර්ශය හා අදාළකිරීම
i. යහපත් සමාරිතයා මෙන් සහකම්පාවෙන් ක්‍රියා කිරීමට ඔබ සූදානම්ද?
ii. අසරණයන් හා පීඩිතයන් ගේ අවශ්‍යතා හා අයිතීන් වෙනුවෙන් කැපවීමට ඔබ සූදානම්ද?
iii. නිතරම මෘදු වදන් කථා කිරීමට හා කෝපය වෙනුවට ඉවසිමට ප්‍රගුණ කිරීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය කෙරෙහි ඔබ බලා සිටිනවාද?
iv. ශුද්ධලියවිල්ල සැබෑකමින් ඇසීමට හා අධ්‍යයනය කිරීම තුලින් ජීවිතය වෙනස් කරගැනීමට ඔබ කැපවෙනවාද?
v. වෙස්මුහුණු පැළදිම අතහැර දමා සැබෑමුහුණ ලොවට පෙන්විමට ඔබ සූදානම්ද?