Monday, September 19, 2011

ලොකු පුටුව


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :- යාකොබ් 2:1-13

හැඳින්විම :-

දිනක් එක්තරා පුද්ගලයෙක් මෙලෙස පැවසුවේය. ‘සල්ලි දැක්කම, ගල්පිළිමත් ඔළුව වනනවා’. මෙම කියමනේ අර්ථය නම් සාමාන්‍යයෙන් ගල්පිළිමයක් යනු නොවෙනස්වන ස්ථාවර දෙයකි. ගල්පිළිම කිසිවිටෙක චලනය නොවනබව අපට සක්සුදක්සේ ස්ථිරය. එහෙත් මුදලට ඇති හැකියාව කෙතරම්දයත් ගල්පිළි‍ම වැනි නොවෙනස්වන්නාවූ පුද්ගයෝ පවා ධනය හා බලය ඉදිරියේ හිසනමන බවය. යාකොබ්තුමා මෙහිදී දොස්පවරන්නේ දෙවියන්වහන්සේ නොදන්නා අන්‍යභක්තිකයන්ට නොව, කිතුනුසභාවේ නායකයින් හා ඇදහිලිවතුන්ටය.

1. අවධානය : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)

i. මිනිසුන්මෙන් දෙවියන්වහන්සේ පුද්ගලයාගේ පිටස්තරය දෙස බලා ක්‍රියා නොකරන සේක. (1 සාමුවෙල් 16:7).

ii. උන්වහන්සේ ඉදිරියේ ධනවතා හා දිළින්දා යන දෙදෙනාටත්, බලවතා හා දුබලයා යන දෙදෙනාටත් ඇත්තේ සර්වසම ස්ථානයකි.

iii. දෙවියන්වහන්සේගේ අතේ ඇත්තේ එක හැන්දකි. උන්වහන්සේ හැමෝටම බෙදන්නේ එකම ප්‍රමාණයටය.

2. අන්තර්ගතය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)

i. පළමු වැනි පදයේ තේජශ්‍රීයෙන් වැඩසිටින තැනැත්තෙක් ගැන සඳහන්වෙයි. එනම් මුල් පුටුව හෙවත් ලොකු පුටුවේ දැනටමත් යේසුස්වහන්සේ වැඩ සිටින බවයි. එනම් යේසුස්වහන්සේ සියල්ලන්ගේම හිස වනසේක.

ii. පද 2 සිට 4 දක්වා

යාකොබ් තුමා මෙම චොදනාව කරන්නේ සභාවටය. යාකොබ් තුමා මෙම හසුන ලියන ආකාරයට එදා සභාව විසින් කරන ලද වරදක් පිළිබඳව මෙහි සඳහන්වෙයි. ධනවතුනට හා බලවතුනට සභාව විශේෂ සැලකිලි හා සංග්‍රහ කරන ලදි. එහෙත් දිළිදු හා අසරණ වූ දුබල අවංක ඇදහිතුන්හට සභාවේ කිසිදු ස්ථානයක් නොවීය.

iii. පද 5 සිට 7 දක්වා

බයිලය පුරාවටම ඇති තවත් එක් තේමාවක් නම් දිළිදුන් හා අසරණයන් පිළිබඳව ඇති ඉගැන්විම්ය. දෙවියන්වහන්සේ මෙම කණ්ඩායම් දෙක පිළිබඳව කෙතරම් සලකනවාදයත් යේසුස්වහන්සේ ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔවුන් පිළිබඳව වි‍ශේෂ සඳහනක් කරමින් (ලූක් 4 :18) තම සේවයේ වැදගත් පිරිසක් ලෙස ඔවුන් සලකන ලදි.

iv. පද 8 සිට 13 දක්වා

සාරාංශ ගත කළවිට අපට උගන්වන්නේ දිළිදුන් හා අසරණයන් ගැන නොසලකා අපි මුළු ව්‍යවස්ථාව පිළිපැද්දට කිසිදු ඵලක් නොවන බවයි.

3. ආදර්ශය හා අදාළකිරීම

i. ඔබ මිනිසුන්ගේ තරාතිරම බලා ක්‍රියාකරන අයෙක්ද?

ii. ඔබ මිනිසුන්ගේ බාහිර පෙනුම දෙස බලා ක්‍රියාකරන අයෙක්ද?

iii. දිළිදුන් හි අසරණයින් වෙනුවෙන් ඔබට කළහැකි දේ මොනවාද?