Saturday, November 26, 2011

ගැටුම අංක 2 - සැබෑ මිතුරුකම


යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:4
(මෙම පදය ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
හැ ඳි න් වි :-                                     

ගැටුම යනු කුමක්ද හා ගැටුම් වල ස්වභාවය පිළිබඳව අප පසුගිය සතියේදී සාකච්ඡා කලෙමු. අද එහි දෙවැනි කොටස වන සැබෑ මිතුරුකම පිළබඳව විමසා බලමු.

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න)    

දෙවියන්වහන්සේ විසින් අප ලෝකය හා එහි ක්‍රමයෙන් පිටතට කැඳවා ඇත. එනම් උන්වහන්සේගේ සභාවට තෝරාගෙන ඇත. දැන් අපි මේ ලෝකය හා එහි ක්‍රමයට අයත්වන්නේ නැත. දැන් අපගේ ක්‍රමය උන්වහන්සේ‍ගේ ක්‍රමයයි (දේවචනය එය පැහැදිලි කරයි). එය හරියට මුහුදේ ගමන් කරන නැවක් වැනිය. නැව මුහුද මත වූවද එය මුහුද තුළ නොවෙයි. නැව මුහුදට අයත්වන්නේ වත් මුහුද නැවට අයත්වන්නේවත් නැත. එය පැහැදිලිවම දෙකකි. එබැවින් ක්‍රිස්තුස්වහන්සේ හා මිතුරුකම ලෝකය හා එහි ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමය.

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න

සැබෑ මිතුරුකම :- (4 වගන්තිය)
දෙවියන්වහන්සේ විසින් අපට විශේෂිතවූ කැඳවිමක් ලබා දී ඇත. එනම් අපව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය හෙවත් සභාවට කැඳවා ඇත. සභාව යන්නට වනගිවිසුම තුළ ග්‍රීක් භාෂාවෙන් කියනුයේ එක්ලීසියා කියාය. එහි සැබෑ අර්ථයනම් පිටතට කැඳවන ලද[1] යන්නයි. ඇත්තෙන්ම පරණගිවිසුමේ සිට අපට සභාව යන සංකල්පය දැක ගත හැකිය (ලෙවී කථාව 8:4). මිසරයේ වහල්ලුන්සේ දිවි ගත කල ඉශ්‍රායෙල් සෙනඟ දෙවියන්වහන්සේ විසින් මොසෙස්තුමාගේ නායකත්වය යටතේ පිටතට කැඳවාගත් සේක. එලෙස කැඳවාගත් සෙනඟ සෝදිසි හා පරීක්ෂා කිරීම් මධ්‍යයේ වසර 40 ගමන් කර අවසානයේ පොරොන්දු දේශය හෙවත් කානාන් දේශයට පැමිණියේය. මෙම ගමනේදී ඉශායෙල් සභාව (පිටතට කැඳවාගත් සෙනඟ) දෙවියන්වහන්සේ පිළිබඳව දිනෙන් දින එළිදරව්වීම් හා අවබෝධය ලබාගත්තහ. උන්වහන්සේගේ ජීවමානබව හා බලවන්තකම අද්දකින ලදි.

යාකොබ්තුමා 4 වගන්තිය ආරම්භයේදිම තම පාඨකයා ආමන්ත්‍රණය කරන්නේ කාමමිත්‍යාචාරික තැනැත්තෙනි යනුවෙනි (1938 පැරණි අනුවාදය). මුල් ග්‍රීක් බසින් සඳහන්වන්නේද එයමය. පැරණිගිවිසුම තුළ විශේෂයෙන් හොසියා පොතේ දෙවියන්වහන්සේ හා ඉශ්‍රායෙල් අතර සම්බන්ධය විස්තර තරන්නේ විවහා ගිවිසුමක් වැනිය. යේසුස්වහන්සේ මනාලයා වන අතර අපි (සභාව) කන්‍යාවකට උපමා කරයි. එලෙසම ඉශ්‍රායෙල් ජනයා අන්‍යය දේව නමස්කාරයන් වලට යොමුවන විටදී දෙවියන්වහන්සේ එය විග්‍රහ කලේ තම සෙනඟ කාමමිත්‍යාචාරයකරන බවයි. විවාහය තුළ සහකරුවා හෝ සහකාරීය අනියම් සම්බන්ධතා පවත්වන්නේනම් එය තම විවහා ගිවිසුමට පටහැනිව කරන, කාමමිත්‍යාචාරී ක්‍රියාවකි. දෙවියන්වහන්සේගේ සභාවට අයිති අප උන්වන්සේ හා විවහා ගිවිසගෙ ඇත. අපට තව දුරටත් මේලෝකයට හෝ එහි ක්‍රමයට ජීවත් විය නොහැකිය. අපට මාර්ග දෙකක ගමන් කළ නොහැකිය. අප ප්‍රේම  කළ යුක්තේ ලෝකයට නොව උන්වහන්සේගේ ශරීරය වන සභාවටය.  සභාවයනු දෙවියන්වහන්සේ විසින් කැඳවා ඇති ස්ත්‍රීන් පුරුෂයන් හා ළමුන්ය.

ඉශ්‍රායෙල් සෙනඟ මිසරයේ වහලුන්ව සිටි ලෙස, කලක් අපිද යේසුස්වහන්සේ නොදැන, පාපයට හා එහි අධිපතියා වන යක්ෂයාගේ ග්‍රහනය හා පාලනයට යටත්වී, මේලෝකයේ අතරමංවී සිටියෙමුව. ක්‍රස්තුස්වහන්සේගේ ප්‍රේමය, ජීවිත පූජාව හා මරණයෙන් නැවත නැගිටීමේ බලය වන සුභාරංචිය නිසා අපි ගැලවීම හෙවත් නැවත ඉපදීම ලැබුවෙමුව. එලෙසම උන්වහන්සේ දැන් අප සභාවට කැඳවා ඇත. ඇත්තෙන්ම මෙහිදී අපව කැඳවා ඇත්තේ ගොඩනැගිල්ලකට හෝ නිකායක සාමාජිකත්වය දැරීමට වඩා උසස් හා දිව්‍යමය වූ විශ්වී හෙවත් ජගත් සභාවටය (universal church). මෙම විශ්වීය සභාවට අපි කතෝලික සභාවයයි ද කියනු ලබයි. මෙය රෝමානු කතෝලික සභාව නොවන බව හොඳින් වටහා ගන්න. ප්‍රාදේශීය සභාවකට අයත් වීම හා එහි ක්‍රියාකාරී සාමාජිකත්වය දැරීම ඉන්පසුව අපට කිරීමට ඇති  ඉතාමත් වැදගත් පියවරකි. ඊට හේතුව ස්වාමින්වහන්සේ විසින් අපගේ ආත්මික වර්ධනය හා ගණන්දීම සිදු කරන්නේ ප්‍රාදේශීය සභාව තුළිනි.

දැනට ලෝකයේ ප්‍රධාන සභා 3 ක් දැක ගත හැකිය. 
  1. රෝමානු කතොලික සභාව (නවගිවිසුමේ සිට පැවතෙයි) 
  2.  සාධාර්මික හෙවත් ඕතොඩොක්ස් සභාව (ක්‍රි.. 1000 දී පමණ ඇරඹෙයි.) 
  3.  ප්‍රොතෙස්තන්ත සභාව (ක්‍රි. . 1500 දී පමණ ඇරඹෙයි.)

පේත්‍රැස්තුමාගේ නායකත්නය යට‍තේ ආරම්භවූ නවගිවිසුමේ සභාව විවිධ දේවධාර්මික, දේශපාලන හා සාමාජීය වෙනස්වී වලට ලක්වෙමින් දිගින් දිගටම පැවති අතර එය රෝමයේ පාප්තුමාගේ ආධිපත්‍යය යටතේ රෝමානු කතෝලික  සහාවයයි නම් කරයි. ක්‍රි.. 1000 දී පමණ  රෝමානු කතෝලික සහාවේ නායකයින් අතර හටගත් දේවධාරමික මත ගැටුමක් හේතුවෙන් සාධාර්මික හෙවත් ඕතොඩොක්ස් සභාව ඇරඹෙයි. මෙම සභාව අදටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල දැක ගත හැකිය.  එලෙසම නැවතත් ක්‍රි.. 1500 දී පමණ රෝමානු කතෝලික සහාවේ නායකයින් අතර හටගත් දේවධාරමික මත ගැටුමක් හේතුවෙන්  ප්‍රොතෙස්තන්ත සභාව බිහිවිය. මෙම මත ගැටුම් වලට අප ප්‍රතිංස්කරණයන් යැයිද කියනු ලබයි. එලෙසම ප්‍රොතෙස්තන්ත සභාව තුලද විවධ නිකායන් දක්නට ලැබෙයි.

ශ්‍රී ලංකාවේ අපට ප්‍රධාන වශයෙන් දැක ගත හැක්කේ රෝමානු කතොලික හා ප්‍රොතෙස්තන්ත සභාවන්ය. ප්‍රොතෙස්තන්ත සභාවන් නැවතත් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. එනම් ප්‍රධානපෙලේ සභා සහ ප්‍රධානපෙලේ නොවන සභාය. මීට අමතරව ව්‍යාජ සභා යයි නම් කරන යෙහොවා සාක්ෂි කරුවන්ගේ සභාව, මෝමන් වරුන්ගේ සභාව, මේසන්වරුන්ගේ සභාව හා සෙවන්ඩේ ඇඩ්වෙන්ටිස්ට් සභාවන්ද වෙයි.
  
ඉහත බෙදීම කෙසේ වූවත් මෙම පාඩම අධ්‍යනය කරන ඔබ එසෙම්බ්ලි ඔෆ් ගෝඩ් සභාවට අයත් ජනතා දේව සභා‍වේ සාමාජිකයෙක් වීම ගැන අපිදෙවිඳුන්ට ස්තූති කරමුව. ඊට හේතුව දෙවියන්වහන්සේගේ විශේෂතවූ කැඳවිමක් ලබා ඇති අපගේ සභාව සම්පුරණවූ ශුද්ධවූ බයිබලය අකුරක්වත් නෑර විශ්වාසකිරීමට හා පිළිපැඳීමට කැපවී සිටිමුව.

සභාව ශරීරයක් වන බැවින් අප එහි අවයවයන් වෙමුව. සිරුරේ ඇති සෑම අවයවයකටම වෙන්වූ නිශ්චිත කාර්යයක් ඇත. දිවට කළ හැකි දේ ඇසට කළ නොහැකිය. අතට කළ හැකිදේ පයට කළ නොහැකිය. එබැවින් සභාව තුළ සෑම ඇදහිලිවන්තයෙක්ටම නියමිත වූ සේවයක් හෙවත් කොටසක් ඇත. ශරීරයේ ඉතාමත් වැදගත් අවයවයන් පිටතට පෙනෙන්නේ නැත.  මොළය, හදවත, පෙනහැල්ල, වකුගඩු හා අක්මාව වැනි අවයව නැතිව අපට ජිවත්විය නොහැකිය. ඇතැම් විට ඔබ වේදිකාවේ හෝ ඉදිරිපෙලේ දක්නට නොසිටියත් ඔබ තිරයෙන් පිටුපස කරන සේවය ඉතාත් වැතගත් හා අනර්ඝය. ඔබේ සේවය අතුගෑම විය හැකිය. මගේ සේවය ඉගැන්වීම විය හැකිය. ඔබ අතුගා පන්ති කාමරය සූදානම් නොකළේනම් මම උගන්වන්නේ කොතැනද? දෙවියන්වහන්සේ ඉදිරියේ සියල්ලන්ම එකහා සමානය.  

ඉදිරි සතියේදී අපි සැබෑ සතුරාපිළිබඳව අධ්‍යනය කරමු.



ර්  හා   දා කි රී                                                                                                .
  1. දෙවියන්වහන්සේ ඔබ මෙම ලොකයේ ක්‍රමයෙන් පිටතට කැඳවා ඇතිබවට විශ්වාස කරනවාද? 
  2. ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ සභා‍ව සාමාජිකත්වය ලබා තිබේද? 
  3.  ඔබ ජනතා දේව සභා‍වේ සාමාජිකත්වය ලබා තිබේද? 
  4.  ඔබ ජනතා දේව සභා‍වේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ද එසේ නොමැතිනම් නාමික සමාජිකයෙක්ද? 
  5.  සභාව නැමැති ශරීරයේ අවයවයක් වන ඔබ, ඔබගේ කොටස, කාර්යය හෙවත් සේවය අවබෝධ කරගෙන එව විශ්වාවන්තව කරනවාද? 
  6.  ඔබ නොමැතිව සභාවේ සේවය ඉදිරියට නොයනබව ඔබ දන්නවාද? 
  7.  ඔබ අයත් වන සභාවේ අඩුපාඩු හා දුර්වලකම් තිබෙනවා විය හැකිය. පවුලේ ප්‍රශ්ණ තිබෙන නිසා අපි පවුල හැර නොයයි.
  8. සභාව යනු දෙවියන්වහන්සේගේ නැව වෙයි. එදා ලෝකයට තිබූ එකම විසඳුම නෝවාගේ නැව විය. එහි විවිධාකාරවූ සතුන් හා විවධාකාර ගඳ විය. එහෙත් ඊට ඇතුල්වන අයට පමණක් ගැලවිම ලැබිය හැකි විය. සභාවේත් ඇතැම් විට ඔබට විවිධාකාරවූ සතුන් හමුවීම හා විවධාකාර ගඳදැනෙනවා විය හැකිය. එහෙත් ඒවා දරාගෙන නොසිට, සභාවෙන් වෙන්ව නැවෙන් පිටතට පණින අයට හිමිවන්නේ විනාශයයි [2]




[1] Biblesoft's New Exhaustive Strong's Numbers and Concordance with Expanded Greek-Hebrew Dictionary. Copyright © 1994, 2003, 2006 Biblesoft, Inc. and International Bible Translators, Inc.
[2] දේවගැති මයිකල් දිසානායකගේ දේශනාවක් ඇසුරෙන් උපුටා ගන්නා ලදි.