Saturday, November 26, 2011

ගැටුම අංක 1 - සැබෑ තෘප්තිය



යාකොබ් තුමා යැවූ හසුන. (නගමු  ඇදහිල්ල ක්‍රියාවට)

ශුද්ධලියවිලි පාඨය :-  යාකොබ් 4:1-10
(මෙම කොටස ශෛලය තුලදී හොඳින් ශබ්ද නගා කියවන්න)
      
හැ ඳි න් වි :-                                    

ගැටුම්  හා අර්බුද යනු අපි නිරන්තරයෙන් මුහුණ දෙන පොදු අද්දැකීමකි. ගැටුම්වලින් හා අර්බුදවලින් තොර වු ස්ථානයක් මෙලොවේ සොයා ගත නොහැකිය. ඊට හේතුව නම් අප ජීවත්වන්නේ වැටුනාවූ (පාපයට හසුවූ) ලොවක බැවිනි. එහෙත් ගැටුම් හා අර්බුද විසඳාගෙන හා ඒවා අවම කරගෙන  ජීවත් වීමට යාකොබ්තුමා විසින් මෙහිදී උපදෙස් දෙනු ලබයි.

ධා : (මෙම බයිබල් කොටසින් අපට උගන්වනනේ කුමක්ද යන්න විමසා බලන්න) 
ඇදහිලිවන්තයා හට නිතරම ගැමුටක් (සටනක්) ඇත. එය තමාගේම සහෝදරයා හෝ සහෝදරිය සමඟ නොව සාතන් සමඟය (ආත්මික සටන). සාතන්ගේ උපක්‍රමය කෙලින්ම අපට පහර දෙනවාට වඩා අපගේම සමීපතම අයෙක් තුලින් ක්‍රියා කිරීමය. එබැවින් මෙම උගුල අපි හොඳින් වටහා ගත යුතුය.

අ න් ත ර් ග ත ය : (මෙම බයිබල් කොටසේ අඩංගු වන කාරණා ගැන විමසා බලන්න)                            .

වගන්ති 1 සිට 10දක්වා :-
යාකොබ්තුමා මෙම අනුශාසනාව කරන්නේ නොඇදහිලිවන්තයින්ට නොව සභාවේම සිටි ඇදහිලිවන්ත සමූහයටය. ඔවුන් අතර තිබූ ගැටුම් හා අරගල හේතුවෙන් එතුමා විසින් මෙම කොටස රචනාකලා විය හැකිය. ඉන් පෙනී යන්නේ සභාව යනු අරගල හා ගැටුම් වලින් තොර ස්ථානයක් නොවන බවයි. ඇතැම් විට සභාව යනු ස්වර්ගය වැනි ස්ථානයක් බව අපි සිතමු. ‍ඇත්තෙන්ම සභාව යනු ‘රෝහලකි’.  රෝහලේ සිටින්නේ තමාට රෝගයක් ඇතිබව දැනගෙන, තමා රෝගියෙක් බව පිළි‍ගෙන, සුවයක් බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ලබන අය වෙති (මතෙව් 9:12).

ගැටුම් වලට හේතුව :- (1වැනි වගන්තිය)
ගැටුම් වලට ප්‍රධාන හේතුව තෘෂ්ණාවවෙයි. තෘෂ්ණාව යනු ඕනෑම දෙයක් අවශ්‍යයකරන ප්‍රමාණයට වඩා ලබා ගැනිමට ක්‍රියා කිරීමය. දෙවියන්වහන්සේ අපව මවා ඇත්තේ පංචේන්ද්‍රියක් සහිතවය. එනම් ඇස දැකීමටත්, කන ඇසිමටත්, නාසය ගඳ සුවඳ දැනීමටත්, දිව රස දැනීමටත් හා ශරීරය ස්පර්ශය ලැබීමටය. එලෙසම එම පසිඳුරන් පිනවිමට අවශ්‍ය අලංකාර හා අනර්ඝ වූ දේද එතුමා මැවු සේක. මෙම පසිඳුරන් ශරීරය හා ප්‍රාණය යන ප්‍රධාන කොටස් දෙකට අයත් වන අතර, උන්වහන්සේ මිනිසාහට පමණක් ආත්මයක් දුන් සේක (සතුන්ට ඇත්තේ ශරීරය හා ප්‍රාණය පමණි).

ආශාකරන (තෘෂ්ණාවන) දේ නොලැබීමේ ප්‍රතිඵලය කලකිරීම, වෛරය හා කෝපයයි. කෝපයේ ප්‍රතිථලය මිණිමැරීමය. මෙහිදී යාකොබ්තුමා සඳහන්කරන මිණිමැරීම මතෙව් 5 : 21 සිට 26 කොටසේ යේසුස්වහන්සේ කන්ද උඩදේශනාවේ සඳහන් කළ ආකාරයේ එකක් විය හැකිය. එනම් යම්අයෙක් හා කෝපයෙන් සිටීම මිණිමැරීම හා සමාන බවයි.

අතෘප්තියට හේතුව :-  (2-3වැනි වගන්ති)
අතෘප්තියට හේතුව වන්නේ ආශාකරනදේ හා බලාපොරොත්තුවන දේ ප්‍රමාදවිම හෝ නොලැබීයාමය. මෙලෙස වීමට හේතුව අපගේ අවශ්‍යතාවයන් යාච්ඤාවෙන් නොඇයදිමය. එහෙත් අපගේ ඇයදිම් ආත්මාරථකාමී හා දේව කැමැත්තට පටහැනි අයැදිම් වන විටදී ඒවාට පිළිතුරු නොලැබෙයි. එසේනම් අප යාච්ඤාකල යුක්තේ කෙසේද? යේසුස්වහන්සේ ඉගැන්වූ පරිදි (මතෙව් 5:9-15 හා 6:33) අපගේ යාච්ඤාව පහත සඳහන් ලෙස වියයුතුය.
එනම් :- ‘පළමුකොට දෙවියන්වහන්සේගේ පාලනය, කැමැත්ත හා ධර්මිෂ්ධක‍ම මාගේ ජීවිතයේ ඉටුවේවා’! යන්න ලෙස විය යුතුය. මෙලෙස ආත්මිකදේ අයදින පුද්ගලයාගේ සියලුම ලෞකික අවශ්‍යතාවයන් උන්වහන්සේ ඉබේම සපයන සේක.

5 වගන්තියේ සඳහන් පරිදි  දෙවියන්වහන්සේ අපගේ ආත්මිකත්වය ගැන බෙහෙවින් සලකන සේක. එලෙසම 7 සිට 10 දක්වා  තවදුරත් විස්තර කරන්නේ දෙවියන්වහන්සේට සම්පුර්ණයෙන් යටත්වන පුද්ගලයාට උන්වන්සේගේ ආශිර්වාදය හිමිවන බවයි.

ඉදිරි සතිතුලදී අපි  ‘සැබෑ මිතුරුකම‘ හා ‘සැබෑ සතුරා‘ පිළිපඳව සාකච්ඡා කරමුව.

ආ ද ර් ශ ය  හා  අ දා ළ කි රී ම   
  1. මේ මොහෝතේදී ඔබ මුහුණදෙන ගැටුම කුමක්ද? 
  2. සාතන් තවත් සහෝදරයෙක් හෝ සහෝදරියක් තුලින් ඔබට බාධාවක් වී ඇත්ද?
  3. සාතන් ඔබ තුලින් තවත් සහෝදරයෙකුට හෝ සහෝදරියකට බාධාවක් වී ඇත්ද? 
  4. ඔබ තෘෂ්ණාවෙන් සිටින්නේ කුමකටද?
  5. ඔබගේ යාච්ඤා කරන් විට ‘පළමුකොට දෙවියන්වහන්සේගේ පාලනය, කැමැත්ත හා ධර්මිෂ්ධක‍ම මාගේ ජීවිතයේ ඉටුවේවා’ යයි කියනවාද?