Thursday, March 21, 2013

දිව්‍යමය මිනිසා අවදි කරන්න!

පෙර වදන
ඔබ විසින් ඔබ ගැනම අවබෝධ කරගෙන ඇත්තේ කෙසේද? මෙම ගීතයේ 5 වන වගන්තියට අනුව දෙවියන්වහන්සේ විසින් තම ස්වරූපයෙන් මවා ඇති ඔබ තුළ දිව්‍යමය බලය, දිව්‍යමය හැකියාව හා දිව්‍යමය චරිතය තබා ඇත. එබැවින් ඔබ තුළ ඇති එම දිව්‍යමය මිනිසා අවදි කරන්න.

ගීතාවලිය 8 වන පරිච්ඡේදය
1 සමිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද? ඔබේ තේජෝ මහිමය සගලොවින් එපිට පිළිරැව් දෙන්නේ ය. 
2 කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක. 
රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක. 
3 සිය'තින් ඔබ නිම කළ අහස් තලය ද ඔබ පිහිටෙවූ සඳ මඬල ද තරු වැල් ද මා නරඹන කල්හි,

4 මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? 
මිනිසා ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කුමක් දැ යි මට සිතෙන්නේ ය.
5 එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය. 

6 ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. 
ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක. 
7 ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.

8 ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.

9 දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?

ශුද්ධ බයිබලය.