Tuesday, March 19, 2013

සමිඳුනි මා ගලවා ගත මැනවි!

පෙර වදන
සමිඳුන්ගේ හස්තයට භාරවෙන්නා සුරක්ෂිතය. විපත්ති කාලයේදී පවා ඔහුට හෝ ඇයට කිසි විපතක් නොවන්නේය.

ගීතාවලිය 7 වන පරිච්ඡේදය
1 සමිඳුනි, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න. 
2 නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත;
එහිදී මා කැබලි කොට මරා දමනු ඇත. 
3 සමිඳුනි, මාගේ දෙවියෙනි, කෙනෙකුට යම් අයුක්තියක් මා කර ඇත්නම්,

4 මිතුරෙකු හට හොඳක් වෙනුවට නපුරක් කර ඇත්නම්, මට වරදක් කළ සතුරෙකු නිදහස් කර ඇරියෙම් නම්;

5 සතුරෝ මා ලුහුබැඳ අවුත් මා අල්ලාගනිත් වා! 
ඔව්හු මා කපා, කොටා මරත් වා! මාගේ මළකඳ දූවිල්ලෙහි දමත් වා! 
6 සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; 
මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; 
අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය. 
7 සව් ලෝ සත එක් රැස් ව ඔබ වට කර සිටිත් වා! 
ඉහළ අහසේ ඔවුන් මැද ඔබ සිහසුන් අරා වැඩ සිටින්න. 
8 සමිඳාණෝ සව් සත හට යුක්තිය සලසා දෙන සේක. 
සමිඳුනි, මාගේ දැහැමිකමත්, අහිංසකකමත් අනුව මා විනිශ්චය කළ මැනව. 
9 මිනිස් සිතෙහි සිතුම්පැතුම් විමසාලන, දැහැමිකමින් අගතැන් පත් දෙවි උතුමාණෙනි, අදමිටුකම් බිඳ දමන්න;

දහම් රජය පිහිටුවන්න. 
10 දෙවිඳාණෝ මට රැකවරණය දෙන පලිහ වන සේක;
අවංක සිත් ඇතියන් හට පිළිසරණ වන සේක. 
11 දෙවිඳාණෝ දැහැමි විනිසකරුවෙක් වන සේක; 
එහෙත් නිරතුරු ව උදහස් ව නොසිටින සේක. 
12 පවිටු දනන් වැරදි මඟින් නොහැරෙන විට, දෙවිඳාණෝ සිය අසිපත තියුණු කරන සේක;
දුනු දිය තැත්කවා සූදානම් කරන සේක. 
13 මාරක අවි සකස් කරන සේක; 
ඊතල, ගිනි ඊතල කරන සේක. 
14 එසේ වුව ද, නපුරු දනෝ නපුරුකම පිළිසිඳගනිති, අයුතුකම ගැබ් ගෙන සිටිති, මුසාවාදය ප්‍රසූත කරති.

15 ඔව්හු බිම තැනක ගැඹුරු වළක් හාරා තබති, කැපූ වළෙහි ඔව්හු ම වැටෙති. 

16 ඔවුන් කළ නපුර ඔවුන් පිට ම ආපසු එයි, ඔවුන්ගේ ඒ දුෂ්ටකම ද ඔවුන්ට ම යළි පටිසන් දෙයි. 

17 සමිඳුන්ගේ යුක්තිය ගැන මම තුති ගී ගයමි. 
අති උත්තම හිමි තුමන් හට තුති ගී පවසමි.

ශුද්ධ බයිබලය.